Sunday, September 3, 2017

අබන්ටෙස් - 1 කොටස

"අබාන් ඉක්මනට නැගිටින්න..."

 උදෑසනම අවදි වීම මගෙ ජීවිතයේ අකමැතිම දේවල් වලින් එකකි. සියුස් දෙවියන් මට වරයක් දුනහොත් නොපැකිලිව මා ඉල්ලා සිටින්නේ දවසට නියමිත වේලාව වැඩි කරන ලෙසයි. ඒ එවිටවත් මට නිදාගැනීමට අමතර කාලයක් ලැබෙන බැවිනි.

"මොකද ඇරිස්ටො මේ උදේ පාන්දරම? ඔයත් ගිහිල්ල ටිකක් නිදාගන්න." යැයි මා පැවසුවේ මට පසුගිය වසරේ මගේ සීයා විසින් ලබා දුන් එළු හම් පොරෝනය නැවත ඇඟට තද කරගනිමිනි.

"දැන් නිදාගන්න වෙලාවක් නෑ, දවස් ගානකට කලින් ඔරකල් ගාවින් සල්ලි හොරකම් කරපු කෙනාව අහුවෙලා" යැයි මා වෙතට දිව එමින් ඇරිස්ටො පැවසීය.

"අහුවෙලා..." මට ඊට වැඩි යමක් කීමට ඉඩ නොතබා ඇරිස්ටෝ මාව ඇදගෙන කඩවීදි වෙත ගියේය.

වෙනදා මෙන් නොව අද කඩවීදිය පාළුවට ගොස් තිබුනේය. ඔවුන් සියලු දෙනා ඇතීනා දෙවඟනගේ දේවස්ථානය ඉදිරියේ රැස්ව සිටිනු අප කඩවීදියේ සිටියදීම දක්නට ලැබුණි. ඇතීනා දෙවඟනගේ දේවස්ථානය පිහිටියේ එන්සෙකි කන්ද මුදුනේය. එමනිසා එහි ජනතාව රැස් වුවහොත් පහල සිටිනා අයට එය කැපී පෙනේ.

 දින ගණනාවකට පෙර ඔරකල් වෙතින් රිදී මිල විසි දහසක් පමණ සොරකම් කිරීම මුලු ස්පාර්ටාවම දෙදරුම් දුන් සිද්ධියක් වීය. අප මුලු ජීවිත කාලයම වෙහෙස වී වැඩ කලත් එම මුදලින් කුඩා කොටසක්වත් අපට උපයා ගත නොහැකියි.

"ඔයාලා දන්නවද..." යැයි පැවසූයේ අපට කඩවීදියේ දී මුණගැසුනු අපගේ අනෙක් මිතුරිය වූ ඇලෙක්සි ය.
"ඔයා කියන්න යන එක අපි දන්නවා, අපිත් යන්නෙ එහාට තමා" ඇයටත් අප පසුපස්සේ පැමිණෙන ලෙස අතින් සංඥා කරමින් ඇරිස්ටෝ පැවසීය.

 අප තිදෙනා දේවස්ථානය වෙත ළඟා වූ විට දුටුවේ වාර්ෂික මංගල්‍යට ‍රැස් වන ආකාරයේ ජනකායකි. කෙසේ හෝ මිනිසුන් අතරින් ගොස් දේවස්ථානය ආසන්නයට යාමට අපට හැකියාව ලැබුණි.

"ඔබ කල ඇති වරද ඔප්පු වී අවසන්. ඔබට දෙවියන් විසින් දඩුවම් ලබා දෙනු ඇත." යැයි පැවසුවේ ප්‍රධාන පූජකතුමා ය. ඉතාමත් වයස්ගත හෙතෙම අන්නස් නම් විය. දිගු රැවුල හා සිරුර වසාගත් රෙදි කඩ නිසාවෙන් ඔහුගෙන් නික්මුනේ ගුප්ත පෙනුමකි.

"අනේ එහෙම කරන්න එපා. මට ලමයි දෙන්නෙක්ම ඉන්නවා." යැයි අඩමින් පැවසුවේ ඒ සොරා ය.

 මේත් සමගම දේවස්ථානයේ ප්‍රධාන දොරටුව තුලින් ඉදිරියට ඇදුනේ යකඩ වලින් තනන ලද හරකෙකි. මෙය දුටු මට මොහුට අත්වන්නට යන ඉරණම ප්‍රත්‍යක්ෂ විය.

යකඩ හරකාව දේවස්ථානයේ ඉදිරිපස වේදිකාව මතට රැගෙන ආ විට අන්නස් ප්‍රධාන පූජකතුමා තම සේවකයන් වෙත ඔලුවෙන් සංඥා කලේ සොරාට දඩුවම් දීම ආරම්භ කරන ලෙසයි.

"එපා... එපා... මාව මරන්න එපා... " යැයි කෑමොර දෙන විට ඒ කිසිත් නොතකා ආරක්ෂක නිලධාරීන් සොරාව යකඩ හරකා වෙත රැගෙන ගොස් එහි තිබූ කුඩා දොරකින් ඔහුව හරකා තුලට තල්ලු කලෝය. ඉන්පසු ඔවුන් එම හරකාගේ බඩ යටින් තිබූ වේලුනු දර ගොඩ අවුළුවන්නට විය.

 තරමක් වෙලාවක් ගත වූ විට හරකාගේ නාසයෙන් දුම් නැගෙන්නට වූ අතර ඒත් සමගම හරකෙක් කෑ ගසන ශබ්ධයක් ද ඒ යකඩ හරකා තුලින් ඇසුණි. මා අසල සිටි කිහිප දෙනෙක් හා පිටතින් සිටි තවත් කිහිප දෙනෙක් අත් ඉහළට ඔසවා එකවර කෑ ගසන්නට විය. එනමුත් ඔවුන් එසේ කරන්නේ ඇයි දැයි මම නොදනිමි.

කවුරුන් හෝ දඩුවම් විදිනවා බලන් හිදීම මට කුඩා කල සිට කල නොහැකි දෙයකි. එමනිසා මා එතනින් පිටත් වූයේ මෙහි පැමිණියාට වඩා වේගයෙනි.

"කොහෙද ඔය යන්නෙ ඔහොම ඉන්න" යැයි ඇරිස්ටෝ පැවසූවද මගේ ගමන ඔහු නැවැත්වූයේ නැත. ඒ වෙනුවට ඔහු හා ඇය මා පසුපස ආවාය.

 අප තිදෙනා කන්ද බැස නැවත කඩ වීදි වෙත ගියෝය. එහි කෙරවලක වැඩිමහල්ලන් කිහිප දෙනෙක් බැරෑරුම් සාකච්ඡාවක යෙදෙනු අපි දුටිමු. ඒ අතර මාගේ සීයා ද විය. අපව දුටු ඔවුන් තම සාකච්ඡාව ක්ෂණයෙන් නවත්වා විසිරී ගියෝය.

 ගමේ බොහෝ වැඩිහිටියන්ගේ ගෞරවය මාගේ සීයා වෙත ලැබීම මා කුඩා කල සිට අත්දැක්ක දෙයකි. මෙයට හේතුව මා කිහිප වරක්ම සීයාගෙන් ඇසූ විට ඒ සෑම අවස්ථාවකම ඔහුගේ පිලිතුර වූයේ සිනහවක් පමණි.

මෙය මට පිලිතුරක් නොමැති ගැටළුවකි.

මතු සම්බන්ධයි.


23 comments:

  1. මිතිල හොඳ පරිවර්තනයක් පටන් අරන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමියෝ... මේක පරිවර්තනයක් නෙමේ... මගේ නිර්මාණයක්...

      Delete
  2. හොඳ උත්සාහයක් මිතිල නමුත් පැරණි ග්‍රීක සාහිත්‍ය, ජන ජීවිතය නොදන්නා කෙනෙක්ට ඔරකල්, යකඩ හරකා වැනි යෙදුම් තේරුම් ගැනීම තරමක් අමාරුයි, ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න කතාවේ රසයට බාධාවක් නොවෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වචන ගැන විස්තරයක් දැම්මනම් හොදයි තමා... ඊලඟ කොටස් වලදි ඒක හදන්නම්... ස්තූතියි අයියෙ...

      Delete
  3. කණ්ඩාගෙ කතාවට මමත් එකඟයි මිතිල, මොනව උනත් සුපිරි කතාවක් වගේ.මමත් atlatis වගෙ කතා නොබැලුවනම් ඔය දේවල් ගැන දන්නෑ😁😁😁

    ඔයා දක්ෂ කතා රචකයෙක්නෙ

    ඡ⁣යවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ... ඇට්ලැන්ටිස් එකත් මම බලපු ලස්සනම කතා වලින් එකක්...

      Delete
  4. හොඳ කතාවක් මිතිල,
    දිගටම ලියන්න. දෙයක් මේ කතාව ඉතිහාස කතාවක් නිසා කතාව ලියද්දි භාෂාව යොදා ගැනිම මගින් ද එය මතු කර ගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෙ... භාෂාව ගැන සැලකිලිමත් වෙන්නම්...

      Delete
  5. ඉතාමත් රසවත් ආකාරයෙන් ලියා තියෙනවා. කොටස් වශයෙන් ලියනකොට මීට වඩා තව ටිකක් දිගට හොඳයි. මේක ලියවිලා තියෙන්නේ බ්ලොග් ශෛලියෙන්, සම්මත ලේඛන ශෛලියෙන් ලිව්වනම් අවසානයේදී හොඳ පොතක් වේවි.
    කොහොම උනත් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ... මේක හොද තත්වෙකට අවසානය වෙද්දි ආවොතින් පොතක් විදිහට එලිදක්වන්න අදහසක් තියෙනවා...

      Delete
  6. ඇත්තෙන්ම හුඟක් හොඳයි.
    ජීවන කිව්ව වගේ පොතක් serialize කල විදිහට ලියන එක හොඳයි මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා. ජේ... ප්‍රා.ජේ. ගෙන් උදව්වක් ඕනෙ... ග්‍රීක ශිෂ්ටාචාරය මුල් කරගෙන ලියලා තියෙන Fiction stories මොනවහරි කිහිපයක් කියන්ට පුලුවන්ද...

      Delete
    2. The King Must Die/The Persian Boy/The Last of the Wine / Funeral Games
      by Mary Renault

      The Song of Troy
      by Colleen McCullough

      Tides of War / Last of the Amazons / Gates of Fire
      by Steven Pressfield

      The Flowers of Adonis
      by Rosemary Sutcliff
      ඔය මං කියවපුවා සමහරක්. Mary Renault ගේ කතා ටිකක් මිතිල ඔය ලියල තියන කතාව වගේ තමයි පටන් ගන්නෙ. .

      මේ කතෲ ලගේ පොතුත් පොඩ්ඩක් බලන්න. Christian Cameron, Valerio Massimo Manfredi, Glen Iliffe, Michael Curtis Ford. David Gemmell, Elizabeth Cook ඔය සමහර අලුත් අයගේ ඒවා ඒතරම්ම කොලිටි නෑ. මැන්ෆ්‍රෙඩි ගේ (ඉතාලි ) ලියපු පොත්වල පරිවර්ථන තියෙන්නෙ.

      මිතිකල් නම් හොඳම කතෲ Robert Graves පුලුවන් නම් ඔහුගේ Golden Fleece හොයා ගන්න.

      මිතිලගේ ස්ටයිල් එක Renaultගේ වගේ මට හිතෙන්නෙ. එක පොතක් හරි කියවල බලන්න
      විස්තර අවශ්‍ය නම් මට ඊමේල් කරන්න

      Delete
    3. බොහොම ස්තූතියි ප්‍රා.ජේ... මම මේ පොත් ටික බලන්නන්... දැන් බුක් ෆෙයාර් එකත් එනවනේ... එහෙම නැත්තන් පී.ඩී.එෆ්. එහෙමත් ඇතිනෙ මේවයේ...

      Delete
  7. රාලහාමිගේ විබාගේ අද ඉවරයි නේද? දැන් ඊලග පාරටත් රිවිසන් යනවද හෙට ඉදං?

    ReplyDelete
    Replies
    1. මට විභාගෙ ඉවර උනේ 19... අද සාමාන්‍ය දැනීම එකනේ...

      Delete
  8. ග්‍රීක ශිසෂ්ටචාරයේ ආරම්භයේ මෙහෙම ජන ජීවිත තියෙන්න ඇති මට ජයලත් මනෝරත්නගේ සොක්‍රටීස් නාට්‍යය මතක් උනා. නිර්මාණය අපූරුයි.
    විචාරක දියණිය

    ReplyDelete