Monday, February 5, 2018

කව් ද මේ එලොහිම්? 1 කොටස

 මෙම ලිපියෙන් මා පවසන්නට යන්නේ බයිබලයේ ඇති අභිරහස්ම දේවල්වලින් එකක් පිලිබදවයි. ඒ අභිරහස නම් එලොහිම්. බයිබලයේ නව සංශෝධන පමණක් කියවන අයෙකුට මෙම වදන බයිබලයේ හමු නොවේ. එනමුත් බයිබලයේ පරණ ගිවිසුමේ මුල් පිටපත් එනම් හෙබ්‍රෙව් පිටපත් වල මෙම වදන පැහැදිලිව දක්නට ලැබේ.

 හෙබ්‍රෙව් පිටපත් වල උප්පත්ති පොතට අදාල සටහන් වල මැවීම පිලිබඳ කතා පුවතේ දෙවියන්ව සදහන් කිරීම සදහා භාවිතා කර තිබෙන්නේ 'එලොහිම්' [Elohim] යන වදනයි. එනමුත් දෙවන හා තෙවන පරිච්ඡේදයට යන විට එනම් ඒදන් උයන පිලිබඳ කතා පුවතේදී 'යාහ්වේ - එලොහිම්' [Yahweh (YHWH) - Elohim] යන වදන දෙවියන්ව සදහන් කිරීම සදහා භාවිතා කර තිබේ. ඉන්පසු හතරවන පරිච්ඡේදයේ සිට මෙම වදන යාහ්වේ ලෙස කෙටි කර දක්වා ඇත.

[අමතර දැනුමට: ඉහතදී මවිසින් උප්පත්ති පොතට අදාල සටහන් ලෙස ලියා ඇත්තේ හේතුවක් ඇතිවයි. උප්පත්ති පොත තනි පොතක් ලෙස එකදිගට ලියූ පොතක් නොවේ. මෙය විවිධ සටහන් එකතුවකි. බයිබලයේ පොතක් ලෙසින්ම ලියූ ප්‍රථම පොත වන්නේ ආමොස් දිවැසිවරයාගේ පොතයි.]

 දෙවියන් ඈතින් සිටින විට එලොහිම් යන වදනද, දෙවියන් මනුෂ්‍ය ස්වරූපයෙන් හා ස්වප්නයකින් ඇසෙන හෝ දකින අවස්ථාවලදී යාහ්වේ යන නමද භාවිතා වී ඇති බව අපට පැහැදිලි වන කරුණකි. තවදුරටත් මෙම නම පිලිබඳව සොයාබැලීමේදී අපට සොයාගත හැකි කරුණක් වන්නේ එලොහිම් යන වදන බහුවචනයෙන් ඇති බවයි. එහි ඒකවචන ස්වරූපය එල් නම් වේ. උප්පත්ති පොතේ දෙවියන්ව ඒකවචනයෙන් El - Elyon හා El - Shaddai දෙආකාරයකින් හදුන්වා දී තිබේ.

 සමහරු පවසන ආකාරයට එලොහිම් යන වදන ඇති ලියවිලි හා යාහ්වේ යන වදන ලියවී ඇති ලියවිලි වල මූලාශ්‍ර එකක් නොව දෙකක් වීම නිසා මේ තත්ත්වය ඇතිවී ඇත. එනමුත් මෙම මූලාශ්‍ර මතය එතරම් පිලිගත හැකි මතයක් නොවේ. දැන් මෙම නම් පිලිබදව තරමක් ගැඹුරින් සොයා බලමු.

 බයිබලයේ ආබ්‍රහම්ගේ කතා පුවත්වල දෙවියන්ව හදුන්වනු ලැබූ නම් වන්නේ El - Elyon හා El - Shaddai ය. එහිම සදහන් ආකාරයට ඊශ්‍රායෙල් ජාතියේ ආදි පීතෘවරයෙක් වූ ආබ්‍රහම් විසින් දෙවියන්ව හදුන්වා ඇත්තේ ඒ නමින් ය. ආබ්‍රහම් යනු සුමේරියාවේ ඌර් සිට කානාන් වෙත සංක්‍රමණය වූ අයෙකි. (මහා ජලගැල්ම ලිපියේ දී මේ බව සදහන් කරන ලදි) මෙයින් අපට ලබා ගත හැකි කරුණ වන්නේ දෙවියන්ව හදුන්වාදීමට යොදාගත් මෙම නම් බයිබලය ලියවීමට බොහෝ කලකට පෙර සිට භාවිතා වූ නම් බවයි.

El - Elyon යන්නෙන් හදුන්වන දෙවියන් සමඟ දෙවිවරුන් රැස්වන කන්දක් පිලිබඳව බයිබලයේ කියවේ. [මෙම කන්ද කුමක්ද? මෙම සංකල්පය බයිබලයට පැමිණියේ කුමන ශිෂ්ටාචාරයකින්ද? මෙහි මූලය කුමක් ද? යන වග පසුව වෙනමම ලිපියකින් පවසන්නම්. මන්ද එය කෙටියෙන් පැවසිය හැකි කරුණක් නොවන නිසා.] යෙසායා දිවැසිවරයාගේ කෘතියේ 14 : 13 - 14 පදයන්හි මෙය සදහන් වේ.

"ඔබ මෙසේ සිතා ගත්තෙහිය. මම ස්වර්ගයට නැගී මාගේ සිංහාසනය අහසේ තාරකාවලට ඉහලින් පිහිටුවා උතුරේ ඇති දෙවිවරුන් රැස් වන කන්ද මුදුනේ රජෙකු මෙන් අසුන් ගන්නෙමි. වළාකුළු පසුකොට ඉහළට නැඟී සර්ව පරාක්‍රමයන්ට සමාන වන්නෙමි."

 මෙහි සදහන් දෙවිවරුන් ව පසුකාලීනව දේවදූතයන් ලෙස හදුන්වා ඇත. ඉහතදී සර්ව පරාක්‍රමයන් යන වදන සදහා හෙබ්‍රෙව් පිටපත් වල සදහන් වී ඇත්තේ El - Elyon යන වදනයි. ගීතාවලිය 82 පරිච්ඡේදයේ ද මෙම දෙවිවරුන්ගේ සභාවක් ගැන දැක්වේ. මෙහි El - Elyon දෙවිවරුන්ගේ පියා ලෙසත් [මෙම දෙවිවරුන් පසුකාලීනව දේවදූතයො ලෙස හදුන්වා ඇති බව මතක තබාගන්න] අන් සියලු දෙවිවරු El - Elyon ගේ දරුවන් බවත් දක්වා ඇත.

 ආබ්‍රහම් එලමයිට්වරු පරාජය කර නැවත පැමිණෙන විට El - Elyon ට නමස්කාර කල බව දැක්වේ. මේ සදහා ආබ්‍රහම්ගේ පූජකයා ලෙස කටයුතු කලේ සාලෙම්හි රජ වූ මෙල්කිසෙදෙක් පූජකයාය. [උප්. 14: 18-22] ආබ්‍රහම් මොරියාවේදී දවන යාග පූජාවක් ඔප්පු කල බව උප්පත්ති පොතේ සදහන් වේ. [උප්. 22: 2, 14] එය කන්දක් මත සිදු කර ඇත. එම කන්ද සාලෙම්හිම පිහිටි කන්දක් බව තවදුරත් උප්පත්ති පොත කියවාගෙන යන විට අපට තේරුම් යන කරුණකි. මෙම කන්ද 'සමිදාණන් වහන්සේගේ කන්ද' නොහොත් 'යෙහෝවා ජීරේ' ලෙස හදුන්වා ඇත. එනමුත් මෙහිදී අප සැලකිලිමත් විය යුතු විශේෂ කරුණක් වන්නේ ආබ්‍රහම්ගේ කාලය වන විට යෙහෝවා යන වදන භාවිතයට පැමිණ නැති බව. බයිබලයට මෙම කොටස එකතු වී ඇත්තේ පසුකාලීනව සිදු කරන ලද සංස්කරණ වලදීයි. උප්. 22: 14 පදයේ "මීට අද දක්වා සමිදාණන් වහන්සේගේ කන්දෙදි සපයන ලදි යන කීම ව්‍යවහාර වීය" ලෙස සදහන්ව වේ. මෙහි 'අද දක්වා' ලෙස සදහන් වන්නේ එම යෙහෝවා යන නාමය කන්දට පසුකාලීනව එක්කල එකක් බැවිනි. එමනිසා මෙම කන්ද මතදී නමස්කාර කර තිබෙන්නේ El - Elyon වශයෙන් නම් කරන ලද දෙවියන්ට බව ප්‍රත්‍යක්ෂ වේ.

 මෙම El නැමැති දෙවියන්ව වන්දනා කිරීම ආබ්‍රහම්ට පමණක් සීමා වූ එකක් නොවේ. සාලෙම්හි පිහිටි කන්දට El දෙවියන්ව වන්දනා කිරීමට පිටත පෙදෙස්වලින් ද මිනිසුන් පැමිණි බව සදහන් වේ. මෙයින් අපට ගම්‍ය වන කරුණක් වන්නේ El නැමැති දෙවියන් වන්දනය ක්‍රි.පූ. දාහතර වන සියවසේදී ෆිනීෂියන්වරු විසින් ඇදහූ බවත්‍ ය. එමනිසා El - Elyon යන නමින් හැදින්වූ දෙවියන් පසු කාලීනව බයිබලයට එකතු කල දෙයක් නොව පුරාණ හෙබ්‍රෙව් සංස්කෘතියේ අඩංගු දෙයක් බව පැහැදිලි වේ.

  දැන් ආබ්‍රහම් හා සම්බන්ධ අනෙක් දෙවියන් දෙසට හැරෙමු. එම දෙවියන් El - Shaddai ලෙස හැදින්වේ. මෙම දෙවියන්ව පලමුවෙන්ම උප්පත්ති පොතේ අපට හමුවන්නේ 17 වන පරිච්ඡේදයේ 1 වන පදයේය. එහි "මම වනාහි සියලු බලැති දෙවියන්වහන්සේ වෙමි." යැයි සදහන් වේ. මෙහි සියලු බලැති දෙවියන්වහන්සේ යන වදන් හෙබ්‍රෙව් පිටපත් වල ඇත්තේ El - Shaddai ලෙසයි. මෙම වදන උප්පත්ති පොතේ පස් වතාවක් පමණ සදහන් වේ. [උප්. 17:1, 28:3, 35:11, 43:14, 48:3]

 උප්පත්ති පොතේ අවසාන භාගයේදී මෙම දෙවියන්ව [El - Shaddai] පියාගේ දෙවිඳුන් ලෙස හදුන්වා තිබේ. [උප්. 49: 25] නික්මයාම 3, 4 පරිච්චේද වල මෝසෙස්ගේ කැඳවීම පිලිබඳව සදහන් වේ. එහිදීද මෙම දෙවියන්ව පියවරුන්ගේ දෙවියන් ලෙස සදහන් වන නමුත් පලමු වතාවට මෝසෙස් හට මෙම දෙවියන්ගේ නාමය 'යාහ්වේ' බව ප්‍රකාශ කරයි. එනම් ආබ්‍රහම්ගේ කාලයේදී El - Shaddai නමින් හැදින්වූ දෙවියන්ගේ සැබෑ නාමය යාහ්වේ ලෙස පලමුවරට අනාවරණය වන අවස්ථාව මෙයයි. මෙයින් අපට ගම්‍ය වන්නේ ආබ්‍රහම්ගේ කාලයේදී යාහ්වේ යන වදන ඔවුන් දැන නොසිටි බවයි. නික්මයාම පොතේ තවදුරටත් මෙය 'යාහ්වේ හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්' , 'යාහ්වේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්' ලෙස සදහන් වේ.

 El - Elyon ලෙසින් හැදින්වූ දෙවියන්ව කන්දක් මතදී නමස්කාර කල බවක් දැක්වුවත් El - Shaddai ලෙසින් හැදින්වූ දෙවියන්ව එසේ කන්දක් මතදී නමස්කාර කල බවක් දක්නට නොලැබේ. එම දෙවියන්ව මෝසෙස්ගේ කාලය වන විට යාහ්වේ ලෙසින් හදුන්වා දී ඇත. El - Elyon ව හදුන්වා ඇත්තේ දෙවිවරුන්ගේ පියා ලෙසයි. එනමුත් El - Shaddai හෝ යාහ්වේ ව එසේ හදුන්වා නැත. බොහෝ අවස්ථාවලදී යාහ්වේව [නොහොත් El - Shaddai] හදුන්වා ඇත්තේ දෙවියන්ගේ රාජ සභාවක සිටිනා රජෙකු ලෙසයි. [උප්. 49: 23-25, නික්. 15:18 , නික්. 15:11, ගීතා. 95:6,  82:1, 89: 7-8, 1 රාජා. 22:19]



8 comments:

  1. https://en.wikipedia.org/wiki/The_Source_(novel)

    ReplyDelete
  2. වටිනා සටහනක් ස්තුතියි මල්ලි

    ReplyDelete
  3. Uthsayata garu karanawa bro. Namuth sebe arthaya eya nove.

    ReplyDelete
    Replies
    1. මේකෙ තව කොටසක් තියෙනවා... ඔයාගෙ අදහසත් කියන්න සහෝ... එතකොට සංවාදයකින් මේකෙ නිවැරදි අර්ථයකට හොයා ගන්න පුලුවන්...

      Delete