Saturday, February 10, 2018

අබන්ටෙස් - 2 කොටස

අබන්ටෙස් - 1 කොටස

"අද පුහුණුවීම්* වලට යන්නෙ නැද්ද? " යැයි සීයා මා අසලට පැමිණ ඇසූහ.

"අද හැබැයි පුහුණුවීම් ටිකක් පරක්කු වෙයි. සීයා දන්නවද අර ඔරකල් ගාවින්... "

"ඔව් මම දන්නවා. ලොකු මිනිස්සුන්ගෙ වැරදි වලට දඬුවම් විඳින්න ඕනෙ පොඩි මිනිස්සු. එයා එදත් එහෙමයි අදත් එහෙමයි." යැයි සීයා පැවසුව ද, ඔහුට තව මේ පිලිබඳව කීමට ඇති බව මුහුණෙන් පිලිබිඹු විය. එනමුත් සීයා මේ පිලිබඳව තව කිසිවක් නොපවසා කල්පනා කරමින් කඩවීදිය දිගේ ඇවිද යන්නට විය.

 ඉන්පසු අප තිදෙනා කෙලින්ම ඇදුනේ පුහුණුවීම් මධ්‍යස්ථානය වෙතයි. ඇරිස්ටෝ හා මා එකම කණ්ඩායමක සාමාජිකයන් විය. ඇලෙක්සි කාන්තාවක් වූ බැවින් ඇය සිටියේ වෙනමම කණ්ඩායමකය. කාන්තාවන් හා පිරිමින් වෙන වෙනම කණ්ඩායම් වලට බෙදී සිටියත් දෙගොල්ලන්ම පුහුණුවීම් වලදී කල යුතු වූයේ එකම කාර්යයකි. කාන්තාවන් කියා බුරුලක් ලැබුනේ නැත.  

 අපව පුහුණුකිරීමට සිටියේ ස්පාර්ටාහි සිටින දක්ෂතම සොල්දාදුවා ය. කටකතා පවසන්නේ ඔහු කිසිදු සටනකින් පරාජය වී නොමැති බවයි.

"මොකද අද හැමෝම පරක්කු!! ඉක්මනට වැඩ කරන්න ගන්නවලා... තව සති දෙකයි තියෙන්නේ..." යැයි කෑමොර දුන්නේ අපගේ පුහුණුකරු ය.

 තව සති දෙකකින් නියමිත වයස සපිරුණු තරුණ තරුණියන්ට විශේෂිත වූ පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවේ. එය සමත් වුවහොත් පමණි ස්පාර්ටාහි පුරවැසිභාවය හිමි වන්නේ. එය සමත් නොවුනහොත් අපට මධ්‍යම පාන්තිකයන් වීමට සිදුවේ. මෙසේ මධ්‍යම පාන්තිකයන් වී සිටීම පහසු කරුණක් නම් නොවේ. මන්ද එවිට අපට හැකි වන්නේ වෙළදාම් කිරීම පමණි. ස්පාර්ටාහි කිසිදු දෙයක අයිතිවාසිකමක් අපට දැක්විය නොහැකියි.

 පරීක්ෂණය අවසන් වූ පසු පැවැත්වෙන සාදයට සෑම වසරකම පාහේ අසල්වැසි රාජ්‍යයක රජ පවුලේ අයෙක් විශේෂ අමුත්තා ලෙස සහභාගි වන අතර මෙවර පැමිණෙන තැනැත්තා කාන්තාවන්ට දැඩිව ලොල් අයෙක් බවයි පැවසෙන්නේ. මේ නිසා තරඟ පිටිය ආසන්නේ ඇති ගණිකා නිවාසද මේ දිනවල අලුත්වැඩියා වෙමින් පවතියි. මේ හේතුවෙන් මා තරුණයෙක් වුවත් මගේ මව මේ දිනවල මා ගැන වැඩි සෙවිල්ලෙනුයි සිටින්නේ.

පුහුණුවීම් අවසන් වීමෙන් පසු මා ගිල්ගමේෂ් ප්‍රථිමාව අසල රැදී සිටියේ ඇරිස්ටෝ සහ ඇලෙක්සි එනතුරුයි. ගිල්ගමේෂ් පිලිබදව කුඩා කල පටන් නිවසෙදී උගන්වන කථාන්දරයක් තිබේ. අපේ සීයා සෑම ගිල්ගමේෂ් මංගල්‍යකදී එම කතාව පවසන්නේ ආඩම්බරයෙනි.

"අබාන්... අර එනවයි කියන රජ පවුලෙ කෙනා කොයි වගේ කෙනෙක් වෙන්න ඇති ද?" ප්‍රශ්නයක් අසාගෙනම ඒ ඇරිස්ටෝ මා අසලින් වාඩි විය.

"කවුරු උනත් කඩවසම් කෙනෙක් වෙන්න ඇති. මම අහලා තියෙනවා කාන්තාවන් එයාව දැක්ක හැටියේ වෂී වෙනවා කියලා..." යැයි ඇලෙක්සි පැවසීය. "එහෙ රජ බිසවත් මේ කුමාරයා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කටකතාවකුත් තියෙනවා"

"ඔය කවුරු ආවත් අපිට ලැබෙන දෙයක් නෑනේ, පරීක්ෂණ සමත් වුනොතින් මට නන් ඒ ඇති." මවිසින් මෙසේ පැවසුවත් පැමිණෙන අමුත්තා ගැන මා තුල කුතුහලයක් නොතිබුනාම නොවේ. "වැස්සකුත් එන්න ලඟයි වගේ, ඉක්මනට ගෙවල් වලට යමු"

මා නිවස වෙත යන විට බොහෝ අදුරු වී තිබුනු අතර නිවසට ගොඩ වී වැඩිවේලා යාමට පෙර වර්ෂාවද ඇද හැලෙන්නට විය. සුපුරුදු පරිදි අද දිනත් කෑමට තිබුනේ ඇට වර්ගයි.

"අද පුහුණුවීම් කොහොම ද?" යැයි ඇසුවේ මගේ මවයි. මේ දිනවල තරමක් සීතල නිසාවෙන් ඇය බැටළු හමකින් තම මුළු සිරුරම වසාගෙන සිටියාය.

"පුහුණුවීම් වෙනදා වගේම තමයි. පරීක්ෂණය ළග ළගම එන නිසා ජාවේස් වෙනදට වඩා තදට අපිව පුහුණුකරන්නේ." ජාවේස් යනු පෙර කී අපගේ පුහුණුකරුගේ නමයි.

"මගෙ තාත්තා, ඒ කියන්නේ ඔයාගෙ සීයා තරුණ කාලෙ ජාවේස් ව සිංහයෙකුගෙන් බේරගෙන තියෙනවලු. තාත්තා දවසක් මාත් එක්ක ඔය ගැන කිව්වා. මටත් පුදුමයි. ඒ සිංහයගෙන් බේර ගත්ත එකට නෙමේ. එයාගෙ පරණ ජීවිතේ ගැන කතා කරපු නිසා. නැත්තන් කතා කරන්නෙම නෑනෙ." යැයි මව පැවසීය.

"සීයා ඒ කාලෙ හමුදාවෙ මොන නිලයෙද ඉදලා තියෙන්නේ"

"ඒකනන් හරියට කියන්න දන්නෑ පුතේ. පොඩි කාලෙ මාව ඉදහිට බලන්න ආවා මතකයි. දවසක් මට ඔයාව හම්බෙන්න ඉද්දි මාව බලන්න ආවා. ඒ අවුරුදු දහයකට විතර පස්සේ. එතකොට මගෙ අම්මත් නැතිවෙලා. එදා ඉදන් තමා තාත්තා මෙහෙ ඉන්නේ. ඒත් ඒ කාලෙ කරපුවා ගැන කතා කරනවටත් එයා අකමැතියි. කොහොමහරි මග අරිනවා."
ගිල්ගමේෂ්

------------------------------------------------------------------------

පුහුණුවීම් - සෑම ස්පාර්ටා පුරවැසියෙක්ම තමන් කුඩා අවධියේ පටන් යුධ පුහුණුවේ යෙදිය යුතුයි. තරුණ අවධියට එළඹුණු පසු පරීක්ෂණයක් තබයි. ඉන් අසමත් වන අයට ස්පාර්ටා හි පුරවැසිකම අහිමි වේ.



2 comments:

  1. අම්මෝ දෙවනි කොටස ලියන්න ගිය කාලයක්, මම මේක දානකං බලාගෙනමයි හිටියෙ

    ReplyDelete
    Replies
    1. මම මෙහෙම එකක් ලියන්න හිටියෙ කියලත් අමතක උනා... :D

      Delete