Monday, February 19, 2018

හෙළුවෙන් තම වෘතය රකින අය



 ජෛන ආගම පිලිබඳව ඔබ සියලු දෙනා කුඩා හෝ යමක් අසා ඇතුවාට සැක නැත.  ජෛන ආගම පිලිබඳ දැනුම සරලව ලබා දීම මෙම සටහනෙහි අරමුණයි. ක්‍රි.පූ. හයවෙනි සියවස ඉන්දියානු ඉතිහාසයේ ඉතා වැදගත් අවධියක් ලෙස සලකනු ලබන්නේ එම අවධි වලදී බුද්ධාගම හා ජෛන ආගම උපත ලැබීමයි. මීට බොහෝ කලකට පෙර ආරම්භ වූ හින්දු ආගමෙහි [හින්දු ආගම යැයි කීවද හින්දු ආගමික සංකල්ප ලෙස ගන්න. මන්ද හරප්පා සංස්කෘතියේ සිටම පැවති විවිධ වූ සංකල්ප හා පසුකාලීනව ඇතිවූ සංකල්ප වල සංයෝජනයකින් හින්දු ආගම සෑදුනු බැවින්] සරල බව හා චාම් බව ක්‍රමක්‍රමයෙන් නැතිවී ගොස් විවිධාකාර වූ අනුරාගී පුදපූජා හා හරසුන් ශාන්තිකර්මයන් නැග ඒමට පටන් ගත්තේය. ආගම පිලිබඳ දැනුම කුඩා ජන කොටසකට පමණක් ඉගැන්වූ අතර බ්‍රහ්මණයන්ගේ හින්දු දර්ශනය කෙරෙහි විරෝධයක් ක්ෂත්‍රීයන්ගෙන් පැන නැගුණි.

 මෙම කාල වකවානු තුල තැන තැන සංචාරය කරමින් තවුස් ජීවිත ගත කල පුද්ගලයින් නව ආගම් සාදා ගත්තේය. මෙම තවුසන් ශ්‍රමණයන් නොහොත් පරිබ්‍රාජිකයන් ලෙස හැදින්වේ. මෙම ආගම් එතරම් ජනප්‍රිය නොවූ අතර වැඩි කල් යාමට මත්තෙන් එම ආගම් අක්‍රිය තත්වයට පත්විය. මෙවැනි තත්වයක් පවතින සමයක අලුත් ආගමික දර්ශන දෙකක් බිහි වූ අතර ඒවා බුද්ධාගම හා ජෛනාගම ලෙස හැදින්වේ. මෙහි ආරම්භකයන් දෙදෙනාම ක්ෂත්‍රීය වංශිකයන් වේ.

 වසර දහස් ගනනක් ගත වුවද ඉන්දියාව තුල ජෛන ආගම අදටත් නොනැසී පවතියි. බුදුන්ගේ සමකාලීනයෙක් වූ වර්ධමාන මහාවීර ජෛන ආගම නිර්මාණය කලේ නැත. ඔහු විසින් සිදු කලේ කලින් පැවති දර්ශනයක් ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමයි. මොහුගේ මුල් නම වර්ධමාන වන අතර මහාවීර යනු ඔහුගේ ශ්‍රාවකයන් ඔහුව හැදින්වූ නම වේ. වෛශාලියේ ලිච්ඡවීන් හා සම්බන්ධ වූ සිද්ධාර්ථ නම් අධිපතියෙකුට හා චේටක නම් ලිච්ඡවී අධිපතියාගේ සොයුරිය වූ ත්‍රිශලාට දාව ක්‍රි.පූ. 540 දී පමණ වර්ධමාන මහාවීර උපත ලැබීය. මොහු කලක් යත්ම රාජ්‍ය බලය ලබාගෙන විවාහ වූ දුවෙකු ලැබුවත් මොහුගේ කැමැත්ත වූයේ මෝක්ෂ මාර්ගය සොයා ගැනීමය. වයස අවුරුදු තිහේදී ඔහු ගිහි ගෙයින් නික්මව ගියේය. පලමුව ඔහු 'නිගන්ඨ' [සමහර පොත් වල නිර්ග්‍රන්ථ ලෙසද සදහන් වන අතර මෙහි තේරුම ගැට වලින් මිදුණු යන්නයි] නම් තවුස් කණ්ඩායමකට බැදුනේය. ඉන්පසු ඔහු ඔවුන්ගේ චර්යාව අනුගමනය කිරීමට පටන් ගත්තේය.

 මෙම නිර්ග්‍රන්ථ තවුස් වාදය ආරම්භ කරන ලද්දේ මහාවීරට අවු. 250කට පමණ පෙර සිටි පාර්ශ්ව නැමැත්තෙකු විසිනි. මොහු බරණැස අශ්වසේන රජුගේ පුත්‍රයාය. මහාවීර විසින් පිහිටවූ ශාසනයේ අය හැදින්වීමට නිර්ග්‍රන්ථ යන වදන පසු කාලීනව භාවිතා විය. ජෛන ආගමේ තීර්ථංකරයන් එනම් සාන්තුවරුන් 24 දෙනෙක් සිට ඇති බව එම දර්ශනයේ පවතින අතර පාර්ශ්ව යනු 23 වෙනියා ය. 24 වෙනියා වර්ධමාන මහාවීර වේ. ඊට පෙර සිටි විසිදෙදෙනා ජනශ්‍රැති වලට අයත් පුද්ගලයින් වන අතර ඊට එහා සාක්ෂියක් අපට හමු නොවේ. පාර්ශ්ව විසින් සිය අනුගාමිකයන්ට කියා සිටියේ ඔවුන් විසින් ගුණ ධර්ම හතරක් ප්‍රගුණ කල යුතු බවයි. ඒව සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ [දේපොළ කෙරෙන් වෙන්වීම] හා ආස්තෙය [සොරකම් නොකිරීම] වේ.

අවුරුදු දොළහක කාලයක් වර්ධමාන මහාවීර ආහාර සිඟමින් , එකිනෙකා සමඟ වාද විවාද කරමින්, විවිධ වූ දුෂ්කර ක්‍රියා වල යෙදෙමින් තැනින් තැන ඇවිද ගියේය. මුල්ම කාලයේ ඔහුට ඇඳීමට තිබුනේ එකම රෙදි කඩකි. ඔහු එය කිසිදා මාරු නොකලේය. එනමුත් ටික කලක් ගිය විට ඔහු එම රෙදි කඩද ඉවත දමා නිර්වස්ත්‍රව සිටීමට තීරණය කලේය. අවු. හයක් මුළුල්ලේ ඔහු හා දුෂ්කර ක්‍රියා කිරීමට ගෝෂාල මස්කරී පුත්‍ර නම් තවුසෙක් එක් වූයේය. පසුව මේ දෙදෙනා අතර මත ගැටුමක් ඇතිවී ගෝෂාල, ආජීවික නිකාය පිහිටුවන ලදි.

 මෙසේ තවුස් වත පුරමින් සිටි ඔහු තීර්ථංකරයන් වහන්සේ කෙනෙක් විය. වැඩි කල් යාමට මත්තෙන් විශාල ශ්‍රාවක පිරිසක් වර්ධමාන විසින් අත්පත් කර ගත්තේය. බුදුන් වහන්සේට ආධාර උපකාර කල රජවරුන්ද මහාවීරට ආධාර උපකාර කල අතර ඔහු වසර තිහක් පමණ ගංගා නදිය ආශ්‍රිතව තමා අවබෝධ කරගත් ධර්මය ශ්‍රාවකයන්ට ඉගැන්වූයේ ය. මහාවීර වසර 72ක් ආයු වළඳා රජගහ නුවර ආසන්නයේ පිහිටි පාවා [වර්තමාන පැට්නා] නම් නඟරයේ උපවාසයකින් පසු මිය ගියේය. මොහු බොහෝ විට මිය යන්නට ඇත්තේ බුදුන්ට හා ඔහුගේ ප්‍රධාන විරුධවාදියා වූ ගෝෂාලට පසුව බව පවසයි. මහාවීර මියගිය වර්ෂය පිලිබඳව පරස්පර විරෝධී මත කිහිපයක් තිබෙන අතර එය ක්‍රි.පූ. 468 දී පමණ සිදුවූ බව සිතිය හැකිය.

 මින් වසර දෙසීයක පමණ කාලයක් ගත වන තුරු ජෛනයෝ ගිහි පැවිදි යන දෙපිරිසෙයින්ම සමන්විත විය. ඒ අතර මොවුන්ගේ ප්‍රධාන විරුද්ධකාරයන් වූ ආජීවිකයන්ද බලයෙන් වැඩෙන්නට විය. මෞර්යය පාලන සමය වන විට ජෛන ආගම බලයෙන් වැඩි වශයෙන් වර්ධනය වන්නට විය. සිහසුන අතහැර දැමූ චන්ද්‍රගුප්ත මෞර්යය රජුද ජෛන ආගමික පැවිද්දෙක් බවට පත්විය. චන්ද්‍රගුප්තගේ රාජ්‍ය කාලය අවසානයේ ඇතිවූ දුර්භික්ෂයක් හේතු කොටගෙන ඔවුන් නැවතී සිටි ගංගා නදී පෙදෙස අතහැර ඩෙකානයට ගියේය.

 ඩෙකානයට පැමිණි පසුව මොවුන් එහිදී මධ්‍යස්ථාන පිහිටුවා ගන්නා ලදි. මෙහි සංක්‍රමණික පැවිද්දන්ගේ ප්‍රධානියා වූයේ  භද්‍ර බාහු නම් පුද්ගලයෙකි. උතුරේ සිටි පැවිද්දන්ගේ නායකයා වූයේ ස්ථුලභද්‍ර නම් පුද්ගලයෙකි. භද්‍ර බාහු කියා සිටියේ නිර්වස්ත්‍ර වෘතය නොකඩවා රැගෙන යා යුතු බවයි. එහෙත් ස්ථුලභද්‍ර දුර්භික්ෂය හේතුවෙන් සුදු රෙදි කඩක් භාවිතා කිරීමට තම අනුගාමිකයන්ට අවසර දුන්නේය. මේ මත ගැටුම නිසාවෙන් ශ්වේතාම්බර [සුදු රෙදි කඩක් පමණක් අඳින] හා දිගම්බර [නිර්වස්ත්‍රව සිටින] යන නිකායන් දෙක ඇති විය. මුල්ම කාලයේ ශ්වේතාම්බර හා දිගම්බර යන නිකායන් දෙකෙහි ඉගැන්වූ ධර්මය අතර එතරම් වෙනසක් නොවීය. වසර දහස් ගණනක් ගත වුව ද මෙම භේදය වර්තමාන ජෛනයන් අතර පවතියි.

 වර්ධමාන මහාවීර තුමන් දෙසූ ධර්මය පූර්ව නැමැති ග්‍රන්ථ 14 ක සදහන් වූ බව පැවසේ. මෙම ධර්මය ඉතා හොදින් දැන සිටි අවසාන පුද්ගලයා වූයේ භද්‍රබාහු ය. ඔහු මියයාමෙන් පසුව ස්ථුලභද්‍ර පාටලීපුත්‍ර නුවරදී ධර්ම සංඝායනාවක් පවත්වා පෙර පැවති පූර්ව නම් ග්‍රන්ථ 14 වෙනුවට අංග නැමැති ග්‍රන්ථ 12ක් සම්පාදනය විය. මෙම අංග නැමැති ධර්ම ග්‍රන්ථ පිලිගන්නා ලද්දේ ශ්වේතාම්බරයන් විසින් පමණි. දිගම්බරයන් මෙය නොපිලිගත් අතර වෙනත් ධර්ම ග්‍රන්ථ සම්පාදනයෙහිලා ඔවුන් උත්සුක වීය. මෙම අංග නම් ග්‍රන්ථ ලේඛනාරූඩ වූයේ ක්‍රි.ව. 5 වන සියවසේ දී වලභී නම් ස්ථනයේදී ශ්වේතාම්බරයන් විසිනි. මෙම කාලය වන විට අංග ග්‍රන්ථ වල දෝෂ බොහොමයක් තිබූ අතර එක් අංගයක් සම්පූර්ණයෙන්ම පාහේ නැතිවී තිබුණි. මෙම ග්‍රන්ථ ප්‍රකෘත භාෂාවෙන් ලියා තිබේ.

 සංස්කෘත කවීන් අතරින් අවසානයට පහල වූ ශ්‍රේෂ්ඨතම කවියා වූ නයචන්ද්‍ර ජෛන පැවිද්දෙකි. එමෙන්ම කාලිදාසයන්ගේ කාව්‍යයන්ට ටීකාවන් ලියූ මල්ලිනාථ ද ජෛන පැවිද්දෙකි. ආගමික නොවන ග්‍රන්ථ වුවද පිටපත් කිරීම මහා පුණ්‍ය කර්මයක්ලෙස ජෛනයෝ සලකන ලදි. මේ හේතුවෙන් බටහිර ඉන්දියාවේ පිහිටි ජෛන ආශ්‍රම නිසා පැරණි ග්‍රන්ථ බොහොමයක් ආරක්ෂා විය.


 මෞර්ය හා ගුප්ත අවධි වලදී ජෛන ආගම විශාල ප්‍රදේශයක පැතිර තිබුනද කලක් ගතවන විට මෙය ප්‍රදේශ දෙකකට පමණක් සීමා විය. ඒ දිගම්බරයන් විසූ වර්තමාන මයිසෝරිය හා දකුණු හයිදරාබාද ප්‍රදේශය හා ශ්වේතාම්බරයන් විසූ ගුජරාත් හා රාජස්ථානය යන ප්‍රදේශයයි.

 ශ්වේතාම්බරයන්ට බටහිර ඉන්දියාවේ අධිපතීන්ගෙන් වැඩිමනක් ආධාර ලැබුන අතර දිගම්බරයන්ටද විවිධ අධිපතීන්ගෙන් ආධාර ලැබුණු. ආධාර ලබා දුන් රජවරුන් මියයාම නිසා හා ශුව හා වෛෂ්ණව භක්තිය වැඩි වශයෙන් ප්‍රචලිත වීම නිස ජෛන ආගමට පෙරදී ලැබුණු රාජ්‍ය අනුග්‍රහය ක්‍රමක්‍රමයෙන් හීන වී ගියේය. විවිධ කරදර වලට ජෛනයන්ට ලක් වීමට සිදු වුවත් ජෛන ආගම ඉන්දියාවෙන් අතුරුදහන් වූයේ නැත.

 දැන් ජෛන ආගමේ මූලික ඉගැන්වීම් දෙසට හැරෙමු. මොවුන් දෙවියන් විශ්වාස නොකරයි. වේද ඉගැන්වීම් වර්ධමාන ප්‍රතික්ෂේප කල අතර දෙවියෙකු විසින් ලෝකය මැවීමක් හෝ ලෝක විනාශයක් පිලිබඳව ඉගැන්වීම්ද තරයේ ප්‍රතික්ෂේප කරන ලදි. සත්වයන්ගේ පැවැත්මට ද්‍රව්‍යය හා ආත්මය යන දෙක බලපාන බව උගන්වන ලදි. මොවුන් මිනිසුන්ට හා සත්වයන්ට පමණක් නොව ගහකොළ, ගල්, පර්වත, ගලන ජලය ආදී ස්වභාවික වස්තූන්ටත් ආත්මයක් ඇති බව විශ්වාස කරන ලදි. මිනිස් ඇසට නොපෙනෙන සුයුම් පදාර්ථය කර්මය ලෙස මොවුන් සලකන ලදි. අනෙක් ආගම් වල අද්‍රව්‍යමය දෙයක් වූ කර්මය ජෛන භක්තිකයන්ට ද්‍රව්‍යමය දෙයක් විය. ආරම්භයේදී ආත්මය ඉතාමත් පැහැපත් වන අතර කර්මය නැමැති පදාර්ථය ආත්මයේ ඇලීම නිසා පෙර පැවති ආත්මයේ ඔපය නැතිවී යයි. මිනිසුන් විසින් සිදු කරන අයහපත් ක්‍රියා නිසා කර්මය වැඩි වශයෙන් ආත්මයේ ඇලීම නිසා ආත්මය ඉතා අදුරු වීමට පටන් ගනියි. ශරීරයට බොහෝ දුක් දී, අවිහිංසාවාදීව ජීවත් වී, විවිධ උපවාසයන්හි යෙදීමෙන් ආත්මයට ඇලෙන මෙම කර්මය ඉවත් කල හැකිය.

 වර්ධමාන විසින් වෛදික ආගමික චාරිත්‍ර ප්‍රතික්ෂේප කරන ලදි. විවිධ පුද පූජා සදහා කරනු ලබන සත්ව ඝාතන හා නිශ්පල වියදම් ඔහු තරයේ ප්‍රතික්ෂේප කලේය. උපත , මරණය හා නැවත ඉපදීම යන මේ සංසාර චක්‍රයෙන් විමුක්තිය ලැබිය හැක්කේ අවිහිංසාව පදනම් කරගත් දැඩි පිලිවෙතක් මගින් හා ලිංගික ආශාවන් කෙරේ වූ ස්වයං වාරණයකින් බව වර්ධමාන විසින් උගන්වන ලදි.

 සෑම ජෛන ආගමිකයෙකුම විසින් පිලිපැදිය යුතු ශික්ෂා පද පහක් තිබේ. ඒවා හිංසාවෙන් තොර වීම, බොරු නොකීම, සොරකම් නොකිරීම, දේපොළ එකතු කරගැනීමෙන් වැලකීම හා බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම වේ. පෙරදී ද පැවසූ පරිදි මෙම ශික්ෂා පද පහෙන් මුල් හතර වර්ධමාන මහාවීරට පෙර සිටි පාර්ශ්ව නම් තීර්ථංකරයන් විසින් උගන්වන ලදි. වර්ධමාන විසින් මෙය ප්‍රතිසංස්කරණය කරමින් එයට තව ශික්ෂා පදයක් එකතු කරන ලදි.

 ජෛන ආගමේ ප්‍රධාන ඉගැන්වීම පරම අවිහිංසාවයි. මෙම අවිහිංසාව ජීවීන්ට පමණක් නොව අජීවී ද්‍රව්‍ය වලටද ලැබිය යුතු බව ඔවුන් උගන්වන ලදි. කෘමි ජීවිත පිලිබඳවත් ජෛන බැතිමතුන් විශේෂ අවධානයක් යොමු කලේය. ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රාණය රැකීමට ඔවුන් ජලය පෙරා පානය කල අතර වාතයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීමට, ආශ්‍රමයෙන් පිටත ගමන් කරන විට සුදු රෙදි කඩකින් මුව වසාගෙන ගියේය. එසේ ගමන් කරන විට මාර්ගයේ සිටින කුහුඹුවන් ආරක්ෂා කර ගැනීමට කුරුළු පියාපත් වලින් තනන ලද ඉලපතක් ආධාරයෙන් මාර්ගය පවිත්‍ර කරමින් ඉදිරියට ගමන් කරන ලදි. ගොවිතැන් කටයුතු වලදී විවිධ ශාක හා නොයෙක් ප්‍රාණීන් විනාශ වන බැවින් ජෛන ගිහියන්ට කෘෂිකර්මය කිරීම තහනම් වේ.

  පැවිදි වීමට පැමිණෙන ජෛනයාගේ හිස මුඩු කිරීමක් සිදු නොකරයි. සිදු වන්නේ කෙස් මුලින් ඇද උදුරා දැමීමකි. ගිම්හාන සමයේ ගිනි අව්වේ භාවනා කිරීම, දීර්ඝ කාලයක් තිස්සේ අපහසු ආකාරයට කය තබාගෙන සිටීම,  උපවාස වල යෙදීම ආදී අතිෂය දුෂ්කර කාර්යයන්හි නිරත විය යුතු වූ නිසා ජෛන පැවිද්දෝ බොහොමයක් ජීවිතක්ෂයට පත් විය.

සමහරු මත පල කරන පරිදි ජෛන ආගම ඉන්දියාවෙන් අතුරුදහන් නොවුනේ ඔවුන් ගිහියන්ගේ ඕනෑ එපාකම් වැඩියෙන් සොයා බලන්නට වූ නිසාවෙනි. ජෛන ආගමේ හැටියට ජෛන ගිහියෙකුට කලින් කලට ගිහි ජීවිතයෙන් ඈත්ව ආගමානුකූලව පැවිදි දිවියක් ගත කල හැකි අතර, කලින් කලට පැවිදි දිවියක්ද ගත කල යුතු විය. මුල්ම කාලීන ජෛනයෝ වෙළදාම් අතින් ඉතා ඉහල වැදගත්කමක් ඉසිලූ අතර ශ්‍රවණ බෙන්ගෝලා හා ආබු කන්ද ආදී ස්ථනවල ඉදිකර ඇති සුවිශාල ජෛන ගොඩනැගිලි ඔවුන්ට තිබූ ධනස්කන්දය පිලිබඳව සාක්ෂි දරයි. එනමුත් ජෛන ආගමේ ශික්ෂා පද පහෙන් එකක් වන දේපොළ රැස් කර නොගැනීම යන්න සලකා බලන විට එකල ජෛනයන්ගේ ශ්‍රද්ධාව ගැන සැක පහල වේ.

 අද දක්නට නොලැබුනත් කලක් ජෛනයෝ ස්ථූප වන්දනාවේ යෙදුනහ. ක්‍රි.ව. මුල් අවධි වලදී ජෛන තීර්ථංකරයන්ගේ පිලිම සාදා මල් පූජා කර පහන් දැල්වීම් ආදිය සිදුකර ඇත. ජෛන තීර්ථංකරයන්ගේ පිලිම හා බුදුන්වහන්සේගේ පිලිම බොහෝ සමානව සාදා තිබෙන බැවින් මෙම පිලිම දෙක අතර වෙනස සාමාන්‍යයෙන් දැක්ක හැටියේ හදුනාගැනීමට අපහසු වේ. කලක් ගත වන විට පන්සල තුලට කෝවිල ඇතුලු වුනාක් මෙන් ජෛන ආගමේ සමහර තැන් අල්ලා ගැනීමට ප්‍රධාන හින්දු දෙවිවරු කිහිපදෙනෙක් සමත් විය.

 දේශපාලනය සදහා ජෛන ආගමේ බලපෑම සලකා බලන විට එය එකල රාජ්‍යයන්ට එතරම් සතුටුදායක නොවීය. ජෛන ආගම හා බුද්ධාගම පැන නැගුනේ ක්ෂත්‍රීයන්ගෙන් බව පෙරදී පවසන ලදි. ජෛන ආගම අවිහිංසාවාදීව ආගමක් වූ බැවින් ජෛන ආගම වැලදගත් ක්ෂත්‍රීයන් අවි ආයුධ අතහැර සාමකාමී දිවි පෙවතක් ගත කිරීමට පටන් ගත්තේය. මෙහෙයින් විදේශ ආක්‍රමණ වලට රට පහසුවෙන් භාජනය වී රටේ ස්වාධීනත්වය නැතිව ගියේය. හින්දු ආගමික ඉගැන්වීම් වල තිබූ වර්ණ භේදය ජෛන දහම මගින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදි. එමනිසා වර්ණ භේදය නිසා බැටකෑ මිනිසුන් ජෛන දහම වෙත ඇදී ඒමට පටන් ගත්හ. වියදම් අධික පූජා ක්‍රම ආදිය ජෛනයන් බැහැර කල නිසාවෙන් ජනතාවට ආර්ථික අතින් සහනදායී තත්වයක් උදා විය. ජෛනයන් විසින් කාන්තාවන්ට උසස් තැනක් ලබා දුන් අතර එකල කාන්තාව විඳි ගැහැට නිසා කාන්තාවන්ට එය මහත් සහනයක් විය.

 බුදු දහමට අශෝක, කණිෂ්ක හා හර්ෂ වැනි ප්‍රභල පාලකයන්ගේ සහය හිමි වුවද ජෛනයන්ට එතරම් ප්‍රභල සහයක් හිමි වූයේ නැත. බුදු දහම විදෙස් රටවල් වලටත් ප්‍රචාරය වුවද ජෛන දහම එසේ ප්‍රචාරය නොවුනේ මේ හේතුවෙනි. අනික් කාරණය නම් ජෛන දහම පරම අවිහිංසාවාදී වීමයි. මෙම ක්‍රමය තුල කුඩා කෘමියෙක්වත් වැරදීමකින්වත් මැරිය නොහැකි නිසා ජෛන ගිහියන්ට මෙය පවත්වාගෙන යාමට අපහසු විය. ජෛන ආගම මිනිසුන්ගෙන් ඈත් වීමට මෙය බලපාන ලදි. කෙසේ හෝ වසර දහස් ගණනක් මුළුල්ලේ අදටත් ජෛන දහම ඉන්දියාව තුල නොනැසී පවතියි.



11 comments:

  1. හුඟක් හොඳ ලිපියක් 😊😊😊😊

    ReplyDelete
  2. //බ්‍රහ්මණයන්ගේ හින්දු දර්ශනය කෙරෙහි විරෝධයක් ක්ෂත්‍රීයන්ගෙන් පැන නැගුණි.

    ක්‍ෂත්‍රීයද, වෛශ්‍යද?

    ReplyDelete
  3. වාසිත වටිනාම ලිපියක්

    ReplyDelete
  4. මම ඔය ශාස්තෘ තුමන්ගෙ නම අහල තියෙන්නෙ නිගන්ඨ නාථ පුත්ත කියල. අනෙක් කෙන⁣ා මක්කලී ගෝෂාල..
    තව දෙයක් තමයි ⁣චන්ද්‍රගුප්ත මෞර්යය රඡතුමා මියගියෙ ඡෛන ආගමේ දුෂ්කරක්‍රියාවක් කරන්න ගිහින් නොකා නොබී දුක් විඳල.
    ඡෛන ආගමේ බිඳ වැටීමට ප්‍රධානම හේතුව උනෙ, ඡෛන ආගම අදහපු රඡවරු , සිටුවරු බුද්ධාගමට හැරිච්ච එක. ඒකෙන් රාඡ්‍ය සහය අවම වෙලා⁣ ඡෛන ආගම බිඳ වැටුන...බිම්බිසාර, අඡාසත්ත, අශෝක කියන රඡවරු , අ⁣නේපිඩු සිටුතුමා , විශාකා සිටුදියණියගෙ පවුල කියන්නෙ ඒකට උදාහරණ.

    ReplyDelete
  5. //ආගමික නොවන ග්‍රන්ථ වුවද පිටපත් කිරීම මහා පුණ්‍ය කර්මයක්ලෙස ජෛනයෝ සලකන ලදි.//

    what a nice religion.

    ReplyDelete
  6. හින්‍දු අරාබි ඉලක්කම් නිර්මාණය කරලා තියෙන්නෙත් ජෛනයෙක්.

    දුටුගැමුණු එළාර යුද්ධයත් බෞද්ධ ජෛන යුද්ධයක් කියලා අහලා තියෙනවා.

    ReplyDelete